වී ගොවියාට උපරිම සාධාරණයක් කරන්න රජය මැදිහත් වී තිබෙනවා

වී අලෙවි මණ්ඩලයේ උප සභාපති, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩබ්. එච්. දුමින්ද ප්‍රියදර්ශන

මේ වන විට රට පුරා යල කන්නයේ වී අස්වනු නෙළමින් පවතී. මෙරට මුළු සහල් අවශ්‍යතාවෙන් 35%ක් පමණි. එනම් හෙක්ටයාර් ලක්ෂ 5ක පමණ කුඹුරු මෙකල අස්වද්දනු ලැබේ. එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී අලෙවි මණ්ඩලයේ කාර්යභාරය කෙබඳු ද? ඒ පිළිබඳ ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂකයකු මෙන්ම වී අලෙවි මණ්ඩලයේ උප සභාපතිවරයා මෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු ද වන ඩබ්. එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා සමඟයි මේ කතාබහ.

– රට පුරා වී මිලට ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබෙනවා
– කිසිදු ගොවියකුට අසාධාරණයක් වෙන්නෙ නෑ

අපි මුලින්ම මෙරටට යල් කන්නයේ වැදගත්කම පිළිබඳ තවදුරටත් විස්තර කරමු?

අහස් දියෙන් එහෙමත් නැතිනම් වර්ෂා ජලය කෙළින්ම යොදා ගැනීමට වඩා වැව් අමුණුවල එක්රැස් කරගත් ජලයෙන් තමයි යල කන්නයේ බහුලව වගා කෙරෙන්නේ. ‘බෙත්ම’ ක්‍රමයට බොහෝවිට මෙකල කුඹුරු වගා කරනු දකින්නට පුළුවන්. විශේෂයෙන් වැව් අමුණු බහුලව පවතින පොළොන්නරුවේ යල් කන්නයේ වැඩිපුර කුඹුරු වගා කෙරෙනවා. උතුරු – නැඟෙනහිර පළාත්වල ද එසේමයි. 

මෙවරත් හෙක්ටයාර් ලක්ෂ 4.5ක් පමණ රටපුරා වගාකොට ඇති බවත් ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක පමණ අස්වැන්නක් රටට ලැබෙනු ඇති බවටත් පුරෝකථන වාර්තා අනුව පෙනෙනවා. එය මෙරටට ඉදිරි මාස පහමාරක තරම් කාලයකට ප්‍රමාණවත්. ඇත්තෙන්ම අප මෙවරත් සාර්ථක යල කන්නයකට එළැඹ සිටිනවා. ස්වාභාවික විපත් අවම වූ හිතකර පරිසරයකදී පොහොර, වගා ජලය ආදී වෙනත් බාධකවල අහිතකර බලපෑම් ඉතා අඩුවීම මෙවර සශ්‍රීකත්වයට හේතු වුණා. ඒ අනුව 95%ක් තරම් ඉහළ ප්‍රමාණයක් අපේක්ෂිත අස්වැන්නෙන් අපට ලැබෙනු ඇති.

දැනට එයින් 10%ක් තරම් අස්වනු ප්‍රමාණයක් වෙළෙඳපොළටත් පැමිණ තිබෙනවා. මේ වන විට ඉදිරියේදී නෙළන්නට නියමිත වී අස්වනුවලටත් ඉහළ මිලක් ලැබෙන්නට අප කටයුතු සලසා හමාරයි. අප ගොවියා ළඟටම ගිහින් මිලදී ගන්නවා. නොඑසේ නම් ප්‍රවාහන ගාස්තු විදියට කිලෝවකට රුපියල් 1.50ක් ගෙවනවා. ඊට අමතරව වෙනමම නියෝජිතවරු ගොවීන් හා මෝල් හිමියන් අතුරින් පත් කරලා තිබෙනවා.

අස්වනු නෙළන්නට කලකට කලින් අපි වැඩ ඇරඹුවේ. ඒ අප සතු ගබඩා විවෘත කිරීමෙන්. කවදත් බැනර් පෝස්ටර් හරහා රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට සූදානම් බවට කෙරෙන ඒ ප්‍රචාරයත් සමඟ පෞද්ගලික අංශය වී මිල ඉහළ දමනවා. මෙවරත් එය එසේමයි. ඒ දෙසතියකට ‍පමණ පෙර රුපියල් 40ක් තරම් අඩුවීමට තිබුණු මඩකළපුව ප්‍රදේශයේ වී කිලෝවක මිල ඒ අනුව රුපියල් 50 දක්වා ඉතා ඉක්මනින් වැඩි කෙරුණා. මේ මැදිහත්වීම හරහා කවදත් ගොවියාට ‍ඉහළ ආදායමක් ලැබෙනවා. ඒ නිසයි දැනටමත් නාඩු වී කිලෝවකට රුපියල් 52ක් වගේම සම්බා රුපියල් 52 ටත් කීරි සම්බා රු. 55 ටත් මිලදී ගැනෙන්නේ.

මේ මිල ගැන ගොවියා සෑහීමකට පත් වෙනවා ද?

ඔව්. ඒ හොඳ මිලක් නේ. වී කිලෝවක් නිෂ්පාදනයට සියලු වියහියදම් ඇතිව ගොවියාට රුපියල් 30ක් පමණ වැය වෙන්නේ. රජයෙන් පොහොර ටික, බීජ ටික, වතුර ටිකත් නිසි කලට ලබාදීලා තමයි සහතික මිලකටත් වී ගැනෙන්නේ. එපමණක් නොවෙයි. පසුගිය සති කිහිපය ඇතුළත රජය පුද්ගලික අංශයේ වී මෝල් හිමියන් හමුවී සාකච්ඡා කළේ එකම මිලකට රජය හා පුද්ගලික අංශය යන දෙපිරිසම වී මිලදී ගන්නයි. සහල් කිලෝවක වෙළෙඳපොළ මිල රුපියල් 100ට අඩුවෙන් පවත්වාගත යුතු බවට එහිදී ගනු ලැබූ තීරණයක්. දැඩි නීතිරීති පනවමින් එය ක්‍රියාවට නැංවීමට රජය මඟින් කටයුතු කරනවා. ඊට අවනත නොවන වෙළෙඳුන්ට කලින් තිබුණාට වඩා ඉතා වැඩි දඩයකට යටත් වීමටත් සිදු වනු ඇති.

දැන් අපි මෙරට සහල් පරිභෝජනය පිළිබඳ පැහැදිලි කරමු?

මෙරට ජනතාවගෙන් 80%ක් තරම් වැඩි ප්‍රමාණයක් නාඩු වර්ගයේ සහල් පරිභෝජනයට පෙලඹී සිටිනවා. අඩු ආදායම්ලාභී ජනතාවගෙන් වැඩි පිරිසක් ඒ අතර සිටිනවා. ඉතිරි 20%ක් තරම් වන පිරිස සම්බා, කීරි සම්බා, බාස්මතී සහල්වලට වැඩි කැමැත්තක් දක්වන වග හෙළි කරගෙන තිබෙනවා.

මෙරටට මසකට සහල් මෙට්‍රික් ටොන් 1,92,000ක් පමණ අවශ්‍යයි. එසේම බස්නාහිර පළාතටයි එයින් මෙ. ටොන් 56,000ක් තරම් වැඩි ප්‍රමාණයක් ඕනෑ කරන්නේ. පිටපළාත්වලින් ගෙනැවිත් තමයි ඒ සහල් අවශ්‍යතාව වැඩිපුර පිරිමැසෙන්නේ. ඒ හැරෙන්නට මහනුවරට සහ කුරුණෑගලට පිළිවෙළින් මෙ. ටොන්. 15,000 සහ 10,000ක් පමණ අවශ්‍ය බව සංඛ්‍යා දත්ත අනුව පෙනෙනවා. සෙසු සියලු ප්‍රදේශවල ඊට අඩුවෙන් සහල් අවශ්‍ය කරන්නේ.

මෙවර යල් කන්නයේ වී වගා කෙරුණු ආකාරය දෙසටත් අවධානය යොමු කළොත් 77%ක්ම නාඩු වගා කරද්දී තවත් 10%ක් තරම් වෙනදාට වඩා වැඩි ගොවීන් ප්‍රමාණයක් කීරි සම්බා වගා කළේ වැඩි ආදායමක් අපේක්ෂාවෙන්. එසේම සම්බා වගාකරන්නට 10%ක් පමණ ගොවීන් පෙලඹුණා.

ඒ වගේම මෙරට මහජනතාවගේ ජීවන වියදම් දත්ත පිළිබඳත් අවධානය යොමු කළොත්, මාසික ආදායමෙන් 35%ක් තරම් කොටසක් ආහාරපාන සඳහායි වැය කරන්නේ. වතුකරයේ ජීවත් වන ජනතාව ආදායමෙන් 50%ක් පමණ ඊට වියදම් කරනවා. සහල්, පොල් සහ එළවළු මිල ඉහළ යෑම උද්ධමනයට ‍බලපානවා. ආදායමෙන් ආහාරපානවලට වෙන් කෙරෙන 35% පමණ කොටසින් 13.7%ක් පමණ සහල්වලටයි ජනතාව වියදම් කරන්නේ. එය එළවළුවලට 10%ක් හා පොල්වලට 3.7%ක් තරම් වන බවට පර්යේෂණ වාර්තා හෙළි කරනවා.

ඒ කොහොම වුණත් කළුකඩ බලපෑම්වලින් ජනතාවට මිදෙන්න බැරි වෙලා නේද?

ඒ අතින් සහල් පිළිබඳ කතා කළොත් අප හොඳින්ම නිරීක්ෂණය කළ දෙයක් තියෙනවා. ඒ තමයි වී මෝල් හිමියන් නොවන, අඩුම තරමේ නිසි ගබඩා පහසුකම්වත් නැති කූට අතරමැදි කොටසක් සෑම කන්නයකදීම විශාල වී අස්වනු ප්‍රමාණයක් ගොවියාගෙන් අඩු මිලට අරන් ඒවා සඟවා තබාගන්නා බවයි. ඒත් ඒ වරද නිතර මහා පරිමාණ වී මෝල් හිමියන් පිට පැවරෙන වගත් අපට හඳුනාගන්න පුළුවන්. ඉතා අඩු මිලට වී අරන් ඒවා අධික මිලකට අලෙවි කිරීමයි ඒ අය කරන්නේ. රටට ප්‍රමාණවත් තරම් අස්වනු ලැබුණත් සමහරුන්ට බොරු හිඟයක් මවාපාන්නට පුළුවන් වෙලා තියෙන්නේ එහෙමයි. රජයෙන්ම ණය අරන් තමයි පහුගිය කාලේ ඒ හුඟ‍ දෙනෙක් එහෙම කරලා තිබුණේ. නමුත් අලුත් නීති අනුව ඒ තත්වය සමථයකට පත්වේවි.

ඒ, ජාවාරම්කරුවන්ට වී අලෙවි මණ්ඩලය අභියෝග කරලා තියෙන්නේ කොහොම ද?

මේ කන්නයේදී අපි අදියර කිහිපයක් යටතේ වී මිලදී ගන්නවා. මුල් අදියර යටතේ මෙ. ටොන්. 50,000ක් ආදී වශයෙන් පියවර කිහිපයක් යටතේ ඒ කටයුතු කෙරෙනවා. ඒ සඳහා දැනට රුපියල් මිලියන 3100ක් රජය වෙන් කර තිබෙනවා. මේ වන විට වී අලෙවි මණ්ඩලයේ ගබඩා 325ක් ඒ සඳහා විවෘතයි. මෙ. ටොන් ලක්ෂ 3.5ක් පමණ ඒවායේ ගබඩා කළ හැකියි. අබලන් තත්ත්වයේ තිබූ ගබඩා ප්‍රතිසංස්කරණය කරමින් ඒ මෙහෙවරට යුද හමුදාව ලබා දුන් සහාය ප්‍රශංසනීයයි. අත්පිට මුදලට හෝ බැංකුවලට වී මිලදී ගැනීම්වලට අදාළ මුදල් අප ගෙවනවා.

ඒ කොහොමින් කොහොම වුණත් අන්තිමේදී වී මිලදී ගැනිල්ලෙන් මණ්ඩලය පාඩු ලැබූ බවට වාර්තා වෙනවා. කොහොමද එහෙම වෙන්නේ?

පහුගිය කාලේ එහෙම වෙලා තියෙනවා. ඒත් දැන් එහෙම නැහැ. පහුගිය මහ කන්නයේ පටන් අපි ඒ ක්‍රමය වෙනස් කළා. වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වැඩි මිලට ගනු ලැබූ වී තොග නැවත ජාවාරම්කාර ඇතැමුන්ටම කොටන්නට දුන් අවස්ථා ඉකුත් ආණ්ඩු සමයේ කොතෙකුත් හඳුනාගත හැකියි. එහෙම දුන්නු වී තොග වගේම ඊට ගෙවූ මුදලත් වී අලෙවි මණ්ඩලයට බොහෝ විට නිසි පරිදි නැවත ලැබී නැහැ. වී නිසි පරිදි මිලදී නොගත්තත් ඒ ඒ ප්‍රධානීන් තම තමන්ගේ වරදාන, වරප්‍රසාද අඩුවකින් තොරව ලබා ගනිමින් මේ ආයතනයේ දියුණුවට කිසිවක් නොකළ බවට ලියකියවිලි ඕනෑ තරම් තියෙනවා.

කොහොමද ඔබලා ඒ මකර කටවල්වලින් බේරාගෙන අද මේ තත්ත්වයට ගෙනාවේ?

එතැනදී මුලින්ම අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත්, කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු මහත්වරුන්ටත් ස්තුති කළ යුතුයි. එතුමන්ලා සුදුස්සන් තෝරා මේ ආයතනය ඒ අයට බාර නොකරන්නට මේ ආයතනය ඉතා කෙටි කලෙකින් හරි පාරට ගන්න බැරි වෙන්න ඉඩ තිබුණා. මහාචාර්ය ජමාල් නෙටොල්පිටිය මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා විදියට කටයුතු කරනවා. එතුමා කෘෂි ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රකට විද්වතෙක්. දශක දෙකකට වඩා වැඩි කලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ආදියේ ලද අත්දැකීම් අනුව ප්‍රායෝගිකව බිම් මට්ටමින් ගත යුතු පියවර පිළිබඳ හොඳ වැටහීමක් මා සතුවත් පවතිනවා. ඒත් එඩිතර තීන්දු හරහා කෙළින් වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ඇති නොවීම නිසා අප වැනි පිරිසට මෙවැනි රටට වගකිව යුතු ආයතනවල වගකීම් බාර වුණේ නැහැ. ඊට රටේ මහජනතාවට මහජන මුදලින් වන්දි ගෙවන්නට සිදුවුණු වාර බොහොමයි. මින් මතුවට එසේ නොවන්නයි අප සැලසුම් කරන්නේ. මේ සම්බන්ධව රජයේ සෘජු වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීයයි.

කලින් බොහෝ විට හාපුරා කියලා ගොවීන්ගේ වී ටික මිලදී ගන්න රජයෙන් ණයක් විදියට මුදල් ගෙවා තිබුණේ වී හිඟයක් මවාපාමින් අර්බුද ඇතිකරන ඇතමුන්ටමයි. ඒ මිසෙක වී අලෙවි මණ්ඩලයට නෙවෙයි. කලක් තිස්සේ මේ ගැටලු ඔඩුදුවන්නට එය හේතුවක් වුණා. දැන් එවැන්නකට ඉඩක් නැහැ.

කොහොම ද එහෙම කරන්නේ?

රජයේ මැදිහත් වීමෙන් දැන් නිසි වැඩපිළිවෙළක් ඊට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කලින් වගේ වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී තොග නැවත පුද්ගලික අංශයේ වී හිඟ මවාපාන්නන් අතට අවිධිමත් විදියට යන්නේ නැහැ. ඉතින් කලින් වගේ මුදලත් වී තොගත් දෙකම නැතිව ළතවෙන්නට වී අලෙවි මණ්ඩලයට සිදු වන්නේත් නැහැ.

නිසි බැංකු ඇපයක් මතයි මණ්ඩලයේ වී තොග පිළිබඳ කටයුතු කෙරෙන්නේ. ඉතින් කලින් වගේ මඟහරින්නටවත් ප්‍රමිතියෙන් තොර සහල් අපේ වී වෙනුවෙන් ලබා දෙන්නටවත් කොහොමටවත් කාටවත්ම දැන් ඉඩක් නැහැ. ඒ කටයුතු සියල්ල පරිගණකගත කර තිබෙන නිසා සියලු දත්ත ඉතා සුළු කාලයකින් පරීක්ෂා කර බලන්නටත් අපට පුළුවනි.

සතොස ආයතන, සමුපකාර සමිති සහ සුපිරි වෙළෙඳසැල් වලටත් සහල් සැපයීමේ අපේ ප්‍රතිපත්තිය එයයි. ඒ අනුව වාර්ෂිකව සහල් මිල ඉහළ යන වසර අග වන විට ඊට සාර්ථකව මුහුණදීමට අප දැනටමත් සූදානම්.

ඇත්තෙන්ම ඉකුත් කොරෝනා වසංගත කාලයේදී ක්‍රමානුකූලව සතොස සහ සමුපකාර සමිති ආදියට සහල් නිකුත් කරමින් වෙළෙඳපොළ මිල ස්ථාවරව පවත්වා ගැනීමට අපට හැකිවුණේ මේ විධිමත්කම නිසයි.

තෙත වී තොග වෙළෙන්දා ගොවියාව කේවල් කරන තැනක්. කොහොමද ඒකට පිළියම් යොදන්නේ?

කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළ අප වී මෙන්ම රටකජු හා බඩඉරිඟු සම්බන්ධයෙනුත් සකස් කර තිබෙනවා. කෙටිකාලීනව අප තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් තෝරාගෙන ඒ අයට දැන් තෙත වී නිසි පරිදි වියළා නැවත සකස් කරදීම වෙනුවෙන් රජය මූලික වශයෙන් සහන දීමනාවක් ලබා දෙනවා. එයින් අතරමැදියන්ගේ ගසාකෑම්වලින් තොරව හොඳ මිලක් අස්වැන්නට ලබාගැනීමට ගොවියාට මඟ පෑදෙනවා. ඒ හැරෙන්නට වී අලෙවි මණ්ඩලයේ සභාපතිතුමා පෞද්ගලික ධනය පවා වැය කරමින් කුඩා ප්‍රමාණයේ ඩ්‍රයරයක් ගොවීන්ට පරිත්‍යාග කරමින් සිටිනවා. ඒ වැඩපිළිවෙළට රජයේ දායකත්වයක් ලැබීම හරහා මින් ඉදිරියට ගොවියා තෙත වී නිසා අසරණ නොවේවි. මේ වන විටත් වී අලෙවි කර ගත නොහැකි ගොවියෙක් මෙරට සිටිය නොහැකියි කියලා අප වගකීමෙන් කියන්නේ එහෙමයි. 

ඔබ කෘෂිකර්මය පිළිබඳ පශ්චාත් උපාධි ගණනාවක් ලැබූ, දැනටමත් කෘෂි පර්යේෂණවල නිරතව සිටින අතරේ එම විද්‍යාර්ථින්ට නවීන දැනුම බෙදා දෙන අයෙක්. ඒ ඇසුරෙන් යමක් කිවුවොත්?

මෙරට ලෝකයේ වී වගා කරන රටවල් අතුරින් වැඩිම අස්වනු ප්‍රමාණයක් ලබන රටවල් අතරට එක්වී තිබෙනවා. අලුත් දියුණු වී ප්‍රභේද හඳුන්වා දීම ඊට එක් හේතුවක්. හෙක්ටයාරයකට 4500 – 5000 kg මට්ටම ඉක්මවමින් මහවැලි ‘එච්’ කලාපයේ 6000 තරම් ඉහළ මට්ටමකට එම ධාරිතාව පැමිණ තිබෙනවා. ගොවීන් ලක්ෂ 10කට වඩා මෙරට සිටිනවා. පාරම්පරික වී වර්ග වගාවටත් හොඳ උනන්දුවක් ගොවීන් කෙරෙන් පෙනෙනවා. ඒ සඳහාත් අප උපරිම සහාය දෙනවා.

දැන් දැන් රසායනික පොහොර නැතිව ඉදිරියේදී අස්වනු අඩු වෙතැයි ඇතමුන් භීතිකාවක් මවනවා. ඒත් ‍එවැනි බරපතළ ගැටලුවකට අපට මුහුණදීමට සිදු නොවනු ඇති බව මගේ මතයයි.

දැනටමත් විධිමත් වැඩසටහනක් යටතේ ඉදිරි මහ කන්නය වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙනවා. ඒ අනුව සුළු අඩුවක් අස්වැන්නේ ඇතිවුණත් එයින් රටට තදබල බලපෑමක් ඇති වීමට ඉඩක් නැහැ. ඉදිරි කන්නයට තවත් බොහෝ කලක් තිබෙනවානේ.

අනෙක රසායනික පොහොරට ආදේශකයක් කාබනික ආදී පරිසර හිතකාමී විධික්‍රමවලින් ලබාදීමට දැනටමත් කටයුතු කෙරෙනවා. ඒ අනුව නයිට්‍රජන්, පොස්පරස් ආදී පෝෂක නොඅඩුව වගාවට ලැබෙනවා. ඊට නිසි විකල්ප මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඊළඟට ගොවියා දෙසටත් හැරුණොත්, යම් හෙයකින් අස්වැන්නේ අඩුවක් වුව හොත් ඊට නිසි වන්දියක් ගෙවන වගටත් රජය අවධාරණය කරනවා. කලින්ට වඩා වැඩි මිලක් දැනටමත් අස්වැන්නට ගොවියාට ලැබෙනවා. කලින් කි. ග්‍රෑ. 1000 අලෙවි කර ලැබූ ආදායම අද එයින් අඩක් තරම් ප්‍රමාණයකට ලැබීමෙන් ගොවි ආදායම ඉහළ නැංවී තිබෙනවා. ඉදිරියටත් එය එසේම වනු ඇති වගට පුරෝකථනය කරන්නටත් පුළුවන්. නොවෙනස් වන ජාතික කෘෂි ප්‍රතිපත්තියක් මෙරට ක්‍රියාත්මක වීම හරහා ඉදිරියේදී මෙරට කෘෂිකර්මාන්තයේ නව නැම්මක් ඇතිවනු ඇතැයි ප්‍රකාශ කරන්නට පුළුවනි.

ඡායාරූප – සුදත් මලවීර

(Courtesy of dinamina.lk)

Leave a reply: