ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ද්විත්ව පුරවැසි විරෝධය පුස්සක් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව තිස් නවයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩු තීන්දුව අනුව රජය විසින් අපේක්ෂා කළ තීරණාත්මක කරුණු සියල්ලටම ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිව තිබේ.එම තීන්දු ප්‍රකාශය මැතිසබයට ඉදිරිපත් කිරීමටද පෙර කිසියම් පාර්ශ්වයක් විසින් අන්තර්ජාලයට මුදා හැර ඇත.

නඩු තීන්දුව අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කල යුතු බවට කරන ලද ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ තරග කිරීමටත් මන්ත්‍රීධුර දැරීමටත් අවස්ථාව උදාවනු ඇත.

මේ හැර විශේෂ කරුණු හතරකට ජනමතවිචාරණ අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇත. ඉන් ප්‍රධාන වන්නේ අලුතෙන් පාර්ලිමේන්තුවක් පත් වූ පසු එය විසුරුවා හැරීමේ කාලය වසරක් වන්නේ නම් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට කරන ලද නිර්දේශයයි.ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව පාර්ලිමේන්තුව අලුතින් පත්වූවිට එය විසුරුවා හැරීම වසර දෙක හමාරකින් පසුව කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.ජනාධිපතිවරයාට අධිකරණය හමුවේ මුක්තිය හිමිවීම පිළිබඳ කාරණාවටද ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විමසුමක් නිර්දේශකර ඇත.ඒ අනුව ජනාධිපතිවරයාට අධිකරණයේදී මුක්තිය හිමිවන්නේ අපරාධ නඩු සහ සිවිල් නඩු සඳහා පමණි. මානව හිමිකම් නඩු සඳහා ඔහු වගඋත්තරකරුවකු කිරීමට තිබෙන ඉඩකඩ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහුරා නැත.ඒ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාට මුක්තියක් අවශ්‍ය වන්නේ නම් එය ජනමත විචාරණයකින් තීන්දු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ මතයයි.මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව උපමාන නිකුත් කළ විට ඒවා ක්‍රියාත්මක නොකිරීම වරදක් ලෙස 19 දහනව වන සංශෝධනය මගින් ප්‍රකාශයට පත් කර තිබිණි. එහෙත් විසිවැනි සංශෝධනය මගින් එය වරදක් යන වගන්තිය ඉවත් කර තිබේ .එලෙස අදාල වගන්ති ඉවත් කරන්නේ නම් එයද ජනමත විමසුමකින් තීන්දු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇත.අවසන් ජනමතවිචාරණ නිර්දේශය ලැබී ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විසිවෙනි සංශෝධනය අඩංගු වගන්තියටයි.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම පිළිබඳ වගකීම රජය විසින් දැරිය යුතු බවයි .එහෙත් විසි වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එය ඉවත් කොට තිබේ.එලෙස අදාල වගන්ති ඉවත් කරන්නේ නම් එයද ජනමත විමසුමක් මගින් තීන්දු කළ යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහසයි.

පිටු 61 කින් සමන්විත වූ දීර්ඝ නඩු තීන්දුවක් වන මෙම වන මෙම තීන්දු ප්‍රකාශය විනිසුරුවරුන් බෙදී ලබාදුන් නඩු තීන්දුවක් ලෙස සඳහන් වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ විනිසුරුවරුන් හතර දෙනෙක් එක් තීන්දුවක් ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනම තීන්දුවක් ද මෙම නඩුව වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ. වෙනම තීන්දුව ලියා ඇති ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව අනුමත කරන අතර එහි ඇති එකම වෙනස්කම වන්නේ විසිවෙනි සංශෝධනයේ කිසිදු වගන්තියක් ජනමත විමසුමකින් තොරව අනුමත කළ හැකිය යන නිර්දේශයයි.

මෙම නඩු තීන්දුව ලබන විසි වනදා මැතිසබයට ඉදිරිපත් කර විස්ස සහ විසි එක් වෙනි දින දෙකෙහිදී පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කරගැනීමට රජය දැනටමත් තීන්දු කර තිබේ.

Leave a reply: