ෂීට් නැති ලන්ච් එකක්

රට තුළ දිනකට භාවිත වන ‘ලන්ච් ෂීට්’ ප්‍රමාණය කොපමණ ද? එය ලක්ෂ එකසිය පනහකට වැඩි බව ඊයේ අප පුවත්පත වාර්තා කර තිබිණි. මෙහි අර්ථය වන්නේ දිනකට ‘ලන්ච් ෂීට්’ කෝටි එකහමාරක් පමණ පරිසරයට මුදා හැරෙන බවය. මේ ගණන දින තුන්සිය හැටපහකින් වැඩි කළ විට වසරකට පරිසරයට මුදා හැරෙන ‘ලන්ච් ෂීට්’වල ප්‍රමාණය සොයා ගත හැකිය. ඒ ප්‍රමාණය ගැන තක්සේරුවක යෙදෙන විට ඇඟ කිලිපොළා යයි. අපේ ජලයට, පසට, සමුද්‍ර පරිසරයට මේවා එකතු වෙයි. ‘ලන්ච් ෂීට්’ සඳහා ප්‍රමිතියක් නැත. නිශ්චිත මිලක් ද නැත. ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ව්‍යාපෘතියක් ඇතත් එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. ඒ තබා ජාතික පාරිසරික ප්‍රතිපත්තිය හෝ හරි හැටි ක්‍රියාත්මක වන්නේ නැත.

පොලිතීන් භාවිතය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, ‘ලන්ච් ෂීට්’ තහනමක් සඳහා පෙර සූදානමක් පවතී. මේවා නිෂ්පාදනය කරන ආයතනවලට කිසියම් කාලයක් දීමට තීරණය වී ඇති අතර, එම කාලය තුළ පරිසර හිතකාමි ආහාර දවටන නිෂ්පාදනය කිරීමට එම ආයතන වගබලා ගත යුතුව තිබේ. බොහෝ නිවෙස්වලට ‘ලන්ච් ෂීට්’ පැකට් ගෙන යනු ලැබේ. ඒවා අවශ්‍ය දේවලට මෙන්ම අනවශ්‍ය දේවලට ද භාවිත කෙරේ. ‘ලන්ච් ෂීට්’ පරිසරයට මුදා හැරීම පිළිබඳ කිසිදු චකිතයක් ද මහජනයා තුළ නැත. කොළඹ නගරයේ ඇතැම් කානු පද්ධති ‘ලන්ච් ෂීට්’ වලින් හිර වී ඇත. මේවා ශුද්ධ පවිත්‍ර කොට නැවතත් පරිසරයට මුදා හැරීමක් ද සිදු වේ. අවසන් ලෙස ‘ලන්ච් ෂීට්’ නවතින්නේ සාගර පරිසරය තුළය. ‍එය තවත් බරපතළ විනාශයකි.

ප්ලාස්ටික් හා පොලිතීන් ආහාරයට ගැනීම නිසා සාගර ජීවීහු මරණයට පත් වෙති. වසර පන්සියයකට ආසන්න ආයු කාලයක් ඇති කැස්බෑවන් පොලිතීන් නිසා මරණයට පත් වන ‍බව සොයා ගෙන ඇත. සාගර මසුන් බහුල ලෙසින් ආහාරයට ගන්නා මානවයාට මේ මඟින් කුමන රෝග වැලඳෙන්නේ දැයි තවම පර්යේෂණ මඟින් හෙළිදරවු කරගෙන නැත. ප්ලාස්ටික්, පොලිතීන් හා රෙජිෆෝම් දහනය ශ්‍රී ලංකාවේ ප්‍රකට සිදු වීමක් වන අතර, එහි ධූම ආඝ්‍රාණය කිරීමෙන් පිළිකා හා ස්නායු රෝග වැලඳෙන බව සොයා ගෙන ඇත. ගම්වල ද ඇතැම් නගරවල ද කසළ කළමනාකරණය නිසි ලෙසින් සිදු වන්නේ නැත. ඒ අනුව ප්ලාස්ටික් හා පොලිතීන් තොග ගිනි තබා විනාශ කිරීම නිතර සිදු වෙයි. මේ මඟින් සිදු වන බලවත් හානිය ගැන කිසිවකු‍ගේ අවධානය යොමු වන්නේ නැත.

කෝප් කමිටුව වරක් පෙන්වා දී ඇත්තේ 2012 සිට 2018 දක්වා වසර හයක කාලයේදී මෙරටට ප්ලාස්ටික් කිලෝ කෝටි තුන්සිය තිස්පහක් ගෙන්වා ඇති බවය. මේ කිලෝ කෝටි තුන්සිය තිස්පහම අපේ පරිසරයට මුදා හැරෙන බව කීම බොරුවක් නොවේ. ප්ලාස්ටික් බෝතලයක් දිරාපත් වීම ආරම්භ වන්නේ වසර හාරසියයක් ගෙවී යෑමෙන් පසුව බව තහවුරු වී ඇත. එහි දිරාපත් වීම සිදු වන්නේ ද ඉතා සෙමෙන්ය. ඒ අනුව ප්ලාස්ටික් බෝතලයක් දිරිපත් වීමට වසර දහස් ගණනක් යා හැකිය. ප්ලාස්ටික් හා පොලිතීන් වෙතින් මිනිස් සිරුරට අහිතකර රසායනික ගණනාවක් මුදා හරිනු ලැබේ. බොහෝ විට ඒවා මිශ්‍ර වන‍්නේ ජලය සමඟය. ප්ලාස්ටික් හා පොලිතීන් නිසා මෙරට ගංගා, ඇළ, දොළ පමණක් නොව සාගර කලාපයත් දූෂ්‍ය වී තිබේ.

අප අපගෙන්ම විමසිය යුතු සරල ප්‍රශ්නයක් තිබේ. එනම්, ‘ලන්ච් ෂීට්’ නැතිව බැරිද යන්නය. මේවා අප අතර ප්‍රචලිත වී දසක තුනකට වැඩි කාලයක් නැත. අතීතයේ බත් ගෙඩිය බැඳීම සඳහා භාවිත කළේ කෙසෙල් කොළය හෝ කොළපත්ය. කොළපතක් සකස් කර ගත් පසු එය සෝදමින් නැවත ප්‍රයෝජනයට ගත හැකිය. ඒවා පරිසරයට මුදා හැරිය ද හානියක් සිදු වන්නේ නැත. එහෙත් අද තත්ත්වය සැලකිල්ලට ගන්නා විට කෙසෙල් කොළ සොයා ගැනීම අසීරුය. කොළපත් තබා පුවක්ගස් සොයා ගැනීම ද අසීරුය. ඒවා අදට ගැළපෙන විසඳුම් නොවේ. එහෙත් බත් පෙට්ටි ඕනෑ තරම් ඇත. ‘ලන්ච් ෂීට්’ වෙනුවට ඒවා භාවිත කළ හැකිය. හොඳම විසඳුම ආහාර දවටන සඳහා පරිසර හිතකාමි නිෂ්පාදනයක් වෙත යෑමය. එහෙත් එය ඉබේ පහළ වන්නේ නැත.

පිරිසුදු කඩදාසිවලින් ආහාර දවටන නිෂ්පාදනය කිරීම බොහෝ රටවල සිදු වේ. ශ්‍රී ලංකාවේ ඇතැම් කේක් වර්ග වෙළෙඳපොළට නිකුත් කරන්නේ කිසිදු පොලිතීන් වර්ගයක් නොමැතිවය. ඒවා දවටා ඇත්තේ කාඩ්බෝඩ් පෙට්ටි තුළය. විවිධ ආහාරවර්ග මෙලෙස සකස් කොට වෙළෙඳපොළට නිකුත් කරනු ලැබේ. මේ අයුරින් රසකැවිලි පෙට්ටි හා ආහාර පෙට්ටි වෙළෙඳපොළ තුළ තිබේ. ‘ලන්ච් ෂීට්’ යනු ලෙහෙසියට හා පහසුවට භාවිත කරන දෙයකි. එය මෝස්තරයක් බවට ද පත් වී ඇත. සිලිකවර නමින් හැඳින්වෙන පොලිතීන් බෑග් පළමුව පාරිභෝගිකයා අතට පත් වූයේ නොමිලයේය. එහෙත් අද ඒ වෙනුවෙන් මිලක් ගෙවීමට සිදු වී ඇත. ගෙදරකට දිනකට ගෙනෙනු ලබන සිලිබෑග් ප්‍රමාණය විශාලය. වෙළෙඳපොළට යන වාර ගණනට අනුව සිලි කවර ප්‍රමාණය ඉහළ යයි.

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය ද විශාලය. පරිසරය හා මිනිසා ලෙඩ කරන මෙබඳු අමුද්‍රව්‍ය ගෙන්වීම එක අතකින් ජාතික අපරාධයක් සේ සලකන්නට පුළුවන. 2012 සිට 2018 දක්වා වසර හයක කාලය තුළ ඉහත සඳහන් අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා රුපියල් දසලක්ෂ 1,84,300ක් වැය කර ඇතැයි කෝප් කමිටුව වරක් සඳහන් කර තිබිණි. මේවා අපරාධ වියදම් බව කිව යුතුය. ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදනවලට යොමු වූ ආයතන ගණනාවක් ඇති බව සැබෑවකි. එම ආයතන තුළ සැලකිය යුතු සේවක පිරිසක් ඇති බව ද සැබෑවකි. එහෙත් ඒ ගැන සලකා සිදු වන විනාශයට තවදුරටත් අවකාශ සැලසීම සුදුසු දෙයක් නොවේ. සිදු විය යුත්තේ එම ආයතන පරිසර හිතකාමි නිෂ්පාදන සඳහා යොමු කිරීමය. අප ටිකෙන් ටික පරිසර හිතකාමි ජාතික ප්‍රතිපත්ති කරා ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ. එය සාධනීය තත්ත්වයකි. කාබනික වගා ව්‍යාපෘතිය ඒ අතර ප්‍රධාන තැන ගනී. ‘ලන්ච් ෂීට්’ භාවිතය ද වළක්වා ගත හොත් පාරිසරික සංරක්ෂණය හා මිනිස් සමාජයේ සෞඛ්‍යය තවත් පියවරකින් ඉදිරියට යනු ඇත.

(Courtesy of dinamina.lk)

Leave a reply: