සජිත් ද්‍රෝහි වූ බවට හකීම්ගෙන් චෝදනා

සමගි ජනබලවේගයේ නායකත්වය ට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට තමන් ඉමහත් කැපවීමක් කළද සජිත් තමන්ට ද්‍රෝහි වූ බවට මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් චෝදනා කළේය .රවුෆ් හකීම් මෙම චෝදනාව කළේ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සති අන්තයේ පක්ෂ මූලස්ථානයේ රැස්වූ අවස්ථාවේදී ය.

එමෙන්ම සමගි ජනබලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවට ලිඛිතව පොරොන්දු වූ සජිත් ප්‍රේමදාස නිර්ලජ්ජිත ලෙස එම පොරොන්දුව කඩ කළ බවට රවුෆ් හකීම් මෙහිදී චෝදනා නැගීය .එම අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කරුණු දක්වන්න ට නැගී සිටි එක්තරා පක්ෂ නායකයෙකුටද බැණ වැදුණු රවුෆ් හකීම් සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ගේ අහලකින්වත් තැබිය නොහැකි නායකයෙකුයැයි කීය.සජිත් ප්‍රේමදාස සමඟ තවදුරටත් ලොකු ගමනක් නැතැයි පවසා ඇති රවුෆ් හකීම් පවත්නා විකල්ප ගැන සිතිය යුතු යැයි ද කීය.

ඒ අතර රවුෆ් ගේ පක්ෂයේ මන්ත්‍රීන් හය දෙනාගෙන් චෝදනා නොමැති පසු පෙළ මන්ත්‍රීන් සිව් දෙනෙක් රජය සමඟ එක්වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ .ඔවුන් රජයට එක්වෙනවානම් තනතුරු රහිතව සහාය දිය යුතු යැයි පොහොට්ටුව දැනුම් දී තිබේ .එහෙත් රවුෆ් හකීම් ට පොහොට්ටුවේ දොර විවෘත වන පාටක් නැත .වතුකර පක්ෂයක් වන මනෝ ගනේෂන්ලාගේ මන්ත්‍රී කණ්ඩායම ද ජාතික ලැයිස්තු ප්‍රශ්න මත සජිත් ප්‍රේමදාස සමඟ අරබුදයක පැටලී ඇත .එම කණ්ඩායමේද මන්ත්‍රීන් හය දෙනෙක් සිටිති .මේ අයද ප්‍රසිද්ධියේ ම සජිත් ප්‍රේමදාස විවේචනය කරන්න ට පටන් ගෙන තිබේ .ඔවුන් ආණ්ඩු පක්ෂය ට කරණමක් ගැසීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Leave a reply: