සජිත් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව උතුරේ පක්ෂ වලට සැකයක්

එජාපයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කර  තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  සිංහල පිටපතේ සඳහන් ඇතැම් කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් පිටපතේ සඳහන් නොවීම ගැන උතුරේ හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා බලවත් අප්‍රසාදය පළ කරයි. ඒ සම්බන්ධයෙන් අද හෙටම  විමර්ශනයක් සිදු කොට නීතිඥවරුන්ගේ ද උපදෙස් ලබාගන්නා බව හෙතෙම ඊයේ මාධ්‍යයට සඳහන් කළේය. එම විමර්ශනයෙන් අනතුරුව උතුරේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කොට ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත හෙළි දරව් කිරීමට අපේක්ෂා කරන බවද විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

හිටපු මහ ඇමති  විග්නේෂ්වරන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව ප්‍රශ්නය මතු කළේ ඔහු දකුණේ සිංහල සමාජයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒකීය රාජ්‍ය සංකල්පය සඳහන් කර ඇතත් ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කර ඇති පිටපතේ එක්සත් රාජ්‍යයක් ලෙස සඳහන් කර තිබීම ගැන සැක  පළකරමිනි. මෙලෙස දකුණේ ජනතාව සතුටු කිරීම සඳහා සිංහලෙන් එකක් කියා උතුරේ ජනතාව සතුටු කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුට කිසිසේත් ම නොගැලපෙන ක්‍රියාවක් බව විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා ගේ මතය වී තිබේ. ඉදිරි සතියේ දී මේ සම්බන්ධව සිය මතය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුව කැඳවන බව උතුරේ හිටපු මහ ඇමතිවරයා වැඩි දුරටත් කියා ඇත.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page