හත්තිලව්වට ගහපු කලාබරේ

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දොස්තරවරියකට තර්ජනය කළ මොරටුවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට පත්විය. සමන් විසින් නිකුත් කරන ලද ටෝකන් අතැති පුද්ගලයන්ට පමණක් කොවිඞ් එන්නත දිය යුතු බවට සමන් ලාල් නියම කර තිබිණ. එහෙත් මේ වෙලාවේදී කොවිඞ් මර්දනයෙහි නියුක්තව සිටින සෞඛ්‍ය සේවා බලධාරීන්ට සමන් ලාල් ප‍්‍රනාන්දු යනු තුට්ටු දෙකේ කබ්බෙකි. එක් නිර්භීත වෛද්‍යවරියක් ඔහුට විරුද්ධ විය. තර්ජනය පටන් ගන්නේ එතැනිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම කැත කරනු පිණිස සමන් ලාල් වැනි මී හරකුන් සංසාරය පුරාම පතාගෙන පැමිණි බව පෙනේ. අං සහ වලිගයක් සවිකළ වහාම සමන් ලාල් වැනි අයවලූන් රේස් කරත්ත වල පවා බැඳිය හැකිය. වේගයෙන් දිවීමට අවශ්‍ය දේශපාලන ගියරය ඔවුන් තුළ ස්වභාවිකව පිහිටා නැතත් වට පිටාවෙන් චූන් එකක් ලැබුණු විට කොහෙන් හෝ ණයට ඉල්ලාගත් ගියරයක් යොදාගෙන වුවද දිවීමට මේ අය කැමැත්තාහ. කොවිඞ් මර්දනය කර රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ සෙසු කොටස්කරුවන් ගන්නා උත්සාහය උපක‍්‍රමශීලී ලෙස විනාශ කිරීමට මෙවැනි අය කාගෙන් හෝ කොන්ත‍්‍රාත් එකක් ගෙන ඇති බව පෙනේ.

කොවිඞ් මර්දන කටයුතු භාර සහ නරකට හැසිරෙන ජනතාවගේ විනය භාර යුධ හමුදාපති තැන්පත් ශවීන්ද්‍ර සිල්වාගේ අදහස නම් පසුගිය සතියේදී රට විවෘත කරන ලද අවස්ථාවේ මේ රටේ ජනයා ඉවක් බවක් නැතුව හැසිරුණු බවයි. ඒ නිසා ලබන හත්වනදා වනතුරු දිගටම රට වසා දමනු ලැබ ඇත. මෙය ඇසීමෙන් මේ රටේ ජනයා අන්දොස් වූහ. ගේ ඉස්සරහින් හාල් ලොරි, පොල් ලොරි, එළවළු ලොරි ගමන් කිරීමේ වෙළෙඳ සංස්කෘතියත් ඒ පසුපස වෙනත් වාහනයකින් හඹා ගොස් බඩු මිලට ගැනීමේ පෘතග්ජන සංස්කෘතියත් ගිය අවුරුද්දේ කොරෝනා සමයේදී හඳුන්වා දෙන ලද නමුදු මෙවර කොරෝනා මුරය සඳහා තවමත් පත්තු වී නැත. ඒ නිසා එන්ජිමක් නැතිව ස්වාධීනව ක‍්‍රියාත්මක වන ටයර් මෙන් රට විවෘත කළ සැණින් මිනිස්සු සුපර් මාර්කට් වෙතද සුපර් නොවන මාර්කට් වෙතද දුවති. එයට ප‍්‍රමුඛ හේතුව වන්නේ මේ රටේ ජනයාට ආහාර විනය හෝ සෞඛ්‍ය විනය ගැන අවබෝධයක් නොතිබීමය. එසේ කඩවලට දිව යන මිනිස්සු තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩද කොරෝනා පස් පංගුවද ගෙවෙල් වලට ගෙනෙති. මෙහිදී කොරෝනා පස් පංගුව ගැන කෙටියෙන් යමක් කිව යුතුය. කොවිඞ් 19 කාණ්ඩයට අයත් වෛරස් වර්ග පහක් මේ වනවිට සොයාගනු ලැබ ඇත. අගෝස්තු හෝ සැප්තැම්බර් කොරෝනා මුරයේදී මේ පහ දහය වීමට ඉඩ තිබේ. මිනිසුන් විනයානුකූල නොවීමත් ඉවක් බවක් නැතිව කටයුතු කිරීමත් නිසා මීට අවුරුද්දකට පෙර දිනකට දහයේ රේට් එකේ තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දවසට තුන් දාහකි. ලංකාවේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකට අඩුය. දවසට තුන්දාහ බැගින් මිනිසුන් ආසාදනය වන පසුබිමකදී මුළු රටම කොරෝනා රෝගීන් බවට පත්වන්නේ ඉතා කෙටි කලක් තුළදීය. මේ ආණ්ඩුවට පන්දම් ඇල්ලීමෙන් කිසිදු වැඩක් නැති බව ඇත්ත. එහෙත් කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහය අත්‍යන්තයෙන්ම ප‍්‍රශංසාවට ලක්විය යුතුය.

මේ ආණ්ඩුව කොරෝනා මර්දනය කරන්නේ ප‍්‍රංශය සහ එංගලන්තය දෙවැනි ලෝක යුද්ධය කළාක් මෙනි. මේ රටවල් දෙක ලෝක යුද්ධයට යන අවස්ථාවේදී ප‍්‍රති විරුද්ධ දේශපාලන මතිමතාන්තර ලක්ෂ ගණනක් මතුවූ බැවින් හිට්ලර් දිනන තත්ත්වයක් පවා උදා විය. මේ රට පිළිබඳ දැනට පෙනෙන්නට ඇති චිත‍්‍රය දෙස බලමු. මේ චිත‍්‍රය තුළ සිටින දොස්තර සංගම් එකිනෙකා සමග තරහය. හෙද සංගමයේ ලොකු තැන වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ආණ්ඩුව සමග තරහය. කොවිඞ් එන්නත සම්බන්ධයෙන් හටගත් අර්බුදයක් නිසා දොස්තර සංගමය සහ සෞඛ්‍ය පරීක්ෂක සංගමය එකිනෙකා සමග තරහය. ඒ අතර පවුල් සෞඛ්‍ය සේවිකා සංගමය ආණ්ඩුව සමග තරහය. දැනට අර්බුදයක් නොපවතින්නේ කොරෝනා රෝගීන් සහ ආණ්ඩුව අතර පමණි. සමස්ත ලංකා කොරෝනා රෝගීන්ගේ සංගමයක් ඇති කළ හැකි නම් ඉදිරි පැය විසි හතර තුළ ඔවුන්ද කොරෝනාවෙන් මියයාම පසෙක තබා ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ සමග ගුටි කෙළගෙන මියයාම තෝරා ගන්නවා ඇත. මේ රටේ වැඩිදෙනා නොදන්නවාට කොවිඞ් 19ට හසුවුණු සෑම පවුලකටම ආණ්ඩුවෙන් රුපියල් දහ දාහක වියලි ආහාර මල්ලක් ප‍්‍රදානය කරනු ලැබේ. සහල්, කිරිපිටි, ටින් මාළු, සීනි පරිප්පු ඇතුළු ද්‍රව්‍ය රාශියක් මේ බඩු මලූවල ඇත. ඒවා ඒ ඒ ගෙවල් වලටම ප‍්‍රවාහනය කරනු ලැබේ. ඊට අමතරව ලොක්ඩවුන් ප‍්‍රදේශවලද එක ගෘහයකට රුපියල් පන්දාහක බඩු මල්ලක් දෙනු ලැබේ. මේ සියල්ලටම අමතරව කොවිඞ් එන්නත මිලට ගැනීම සඳහා රුපියල් බිලියන ගණනින් සෙවිය යුතුය. ඉන්දියාවේ කොවිඞ් රෝගීන් එකිනෙකා බිම වැටී මැරෙති. එහෙත් ආණ්ඩුව එවැනි තත්ත්වයකට ඉඩ දී නැත. මේ සියලූ කරදර වලට අමතරව එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් නවයක් ඈතින් ගිනි ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇසිඞ් වැසි, විෂ ජලය, රසායනික ද්‍රව්‍ය අඩංගු මාළු දූෂිත වෙරළ යනාදිය අපිට ලැබී තිබේ. මේ සියල්ලම කළමනාකරණය කිරීමේ කාලකණ්ණි කරුමය ආණ්ඩුව මත කඩා වැටී ඇත. මේ අනුව සෑම දේශපාලනඥයකු විසින්ම කළ යුතු හොඳම දෙය ආණ්ඩු බලයට නොගොස් සදා කල්හි විපක්ෂයේම සිටීමය.

(Courtesy of www.divaina.com)

Leave a reply: