හරීන් ගේ ප්‍රශ්නය සමථයකට

සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු ගේ මැදිහත් වීමෙන් හරීන් ප්‍රනාන්දු විපක්ෂ මන්ත්‍රීවරයා සහ රජය අතර ඇති වෙමින් තිබූ අර්බුදය සමථයකට පත්ව ඇතැයි තිරය පිටුපස ආරංචි මාර්ග කියයි .

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන ප්‍රහාරාත්මක කතාවක් කළේය .ජනාධිපතිවරයා ද අම්පාර ජන හමුවකදී එයට සැර පිළිතුරක් ලබා දුන්නේය .ඉන්පසුව එයට අටුවා ටීකා ලියමින් සමහරු මෙම ප්‍රශ්නය අර්බුදයක් බවට පත් කරන්නට තැත් කරද්දී සමගි ජනබලවේගය පක්ෂයේ සිටින මධ්‍යස්ථ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළෝය .එහිදී ප්‍රශ්නය ඉතා සුහද ලෙස සමථයකට පත් කරගෙන ඇත .

මෙම අර්බුදය හටගත්තේ රාජ්‍ය නායකයා ඉලක්ක කරගෙන හරීන් ප්‍රනාන්දු සීමාව ඉක්මවා යන කතාවක් කළ නිසා බව මෙහිදී ජනාධිපතිවරයා කියා ඇතැයි වාර්තා වෙයි .තමන් කළේ ඔහුගේ කතාවට පිළිතුරු දීම පමණකැයි ද ජනාධිපතිවරයා කියා ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ .

Leave a reply: