හිටපු ජනපති මෛත්‍රීට තනතුරක් නැහැ නව කැබිනට්ටුව පත් වෙයි

වත්මන් රජයේ නව අමාත්‍ය මණ්ඩලය අද (බදාදා ) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දුන්නේය .නව කැබිනට්ටුවට කැබිනට් අමාත්‍යාංශ 28 කි.ඒ සඳහා අමාත්‍යවරු 26 දෙනෙක් පත් කර තිබේ .ඒ සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකුද පත් විය.ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අමාත්‍යවරුන් ට ගැසට්ටුවකින් ජනාධිපතිවරයා විසින්ම විෂය කාර්‍ය පවරා තිබීම මෙවර දක්නට ලැබෙන විශේෂයකි.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට කිසිදු අමාත්‍ය තනතුරක් හිමි නොවීම ද විශේෂ කරුණකි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් බුද්ධ ශාසන ,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාය.අධ්‍යාපන අමාත්‍යවරයා වන්නේ මහාචාර්ය ජී.එල් පීරිස් ය.විදේශ අමාත්‍ය ධුරයට දිනේෂ් ගුණවර්ධන ,අධිකරණ අමාත්‍ය ධුරයට ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ,වෙළෙඳ අමාත්‍ය ධුරයට බන්දුල ගුණවර්ධන ,ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට කෙහෙළිය රඹුක්වැල්ල ,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරයට නාමල් රාජපක්ෂ පත් විය.ඒ සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍ය ධුරයට, උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍ය ධුරයට හාප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍ය ධුරයට ද පත් කෙරිණි .ඩලස් අලහප්පෙරුම විදුලි බල අමාත්‍යවරයා ලෙසත් ,චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසත් පත් වූහ .තවත් කැබිනට් අමාත්‍යාංශ ගණනාවකට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පත්ව ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෝන් සෙනෙවිරත්න ,අනුර යාපා ,සුසිල් ප්‍රේම ජයන්ත හා රන්ජිත් සියඹලාපිටියට කිසිදු තනතුරක් හිමි නොවූහ.රාජ්‍ය අමාත්‍ය පදවියක් ලබා දුන් විජයදාස රාජපක්ෂ මහතා ඔහුට කැබිනට් ඇමැති ධුරයක් නොලැබෙන්නේ නම් දිවුරුම් නොදෙන බව කියා අමාත්‍ය පදවිය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත .සුලු ජාතික පක්ෂවල ඒ.එල්.එම් අතාවුල්ලාට හා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ටද (පිල්ලෙයාන්ටද) තනතුරු නොලැබුණි.

Leave a reply: