හෙට දවස නීරෝගිමත් වීමට අද ආහාර ආරක්‍ෂිතතාවට කැප වෙමු

අද ලෝක ආහාර ආරක්ෂිතතා දිනයයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූනි 7 දින වාර්ෂික ලෝක ආහාර ආරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇත. මෙම නිගමනයට එළඹුණේ 2018 වසරේ දෙසැම්බර් මසය. එමඟින් ජනතාවගේ ජීවන පැවැත්ම හා මිනිසාගේ සෞඛ්‍යයට ආහාර මඟින් සිදු විය හැකි අනිසි බලපෑම්, අවබෝධ කර ගැනීම බලාපොරොත්තු විය. එවැනි අනිසි බලපෑම් විද්‍යාත්මක ඇසකින් වටහාගෙන එම දැනුම පදනම් කොට ගත් මඟපෙන්වීමකට යොමු වීම, මෙම දිනය නම් කිරීමේ පුළුල් පරමාර්ථය වේ.

නව තාක්ෂණය යොදා ගනිමින් ආහාර කර්මාන්තය දියුණු වීම හරහා, ආහාර අන්තර්ජාතික වෙළෙඳපොළේ වැදගත් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් විය. විවිධ සංස්කෘතීන්ට අනුව සැකසුණු ආහාර හා ආහාර පුරුදු, රටවල් අතර සංක්‍රමණය වීම මෑත යුගයේදී සිදු විය. එම පසුබිමෙහි ආහාර ආරක්ෂිතතාවය පිළිබඳ දැනුම දියුණු කිරීමේ නව මංපෙත් කෙරෙහි අන්තර්ජාතික තලය යොමු විය.

2021 වසරෙහි ආහාර ආරක්ෂිතතා තේමාව “හෙට දවස නිරෝගිමත් වීම සඳහා අද ආහාර ආරක්‍ෂිතතාවයට කැපවෙමු” යන්නයි. මෙම වසරේ තේමාව යොමු වන්නේ ආහාර ආරක්ෂිතතා උවදුරු හඳුනාගෙන ඒවා වැළැක්වීම හා, ආහාරයන්ට උවදුරු එක් වන ස්ථාන සොයා ගැනීම වෙතය. එම හඳුනාගැනීම ආහාර ආරක්ෂිතතා කළමනාකරණය සඳහා උපයෝගි කර ගනු ලැබේ. ආහාර ආරක්ෂිතතා කළමනාකරණය විවිධ ආකාරයන්ගෙන් දේශයක ආහාර සුලබතාවය හා මහජන සෞඛ්‍යය කෙරෙහි බලපායි. රටක ආර්ථික උන්නතිය, කෘෂිකාර්මික නිෂ්පාදනය, විදේශික වෙළෙඳපොළ වෙත ආහාර අපනයනය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය ද ආහාර ආරක්ෂිතතාව හා බැඳී පවතී. ආහාර ආරක්ෂිතතාව රටක දිගුකාලීන සංවර්ධනයට මඟපෙන්වයි.

ආහාර දාමයේ පුරුක්

අප බුදින ආහාරයේ ආරක්ෂිතතාව රැඳී පවතින්නේ ආහාර දාමයේ පුරුක් ක්‍රියාත්මක වන ආකාරය මතය. ආහාර වගා කරන්නන්, සැකසුම් කරන්නන්, ප්‍රවාහනය කරන්නන්, ගබඩාකරුවන්, වෙළෙඳුන්, බොජුන් සකස්කරන්නන් හා පිළිගන්වන්නන්ගේ කැප වූ ක්‍රමානුකුල ක්‍රියාවලියන් සමුදායක් ආහාර ආරක්ෂිතතාවය වෙත යොමු වේ. ඔවුන් සතු සාමූහික වගකීම හා, තම පුරුකෙහි ඉලක්කයන් සම්මතයන්ට අනුකුලව ඉටු කිරීම මෙහිදී වැදගත්ය.

ආහාර සමඟ සෞඛ්‍යයට අහිතකර දේ සිරුරට ඇතුළු වීම, සෑම පුරවැසියකුටම එක හා සමානව බලපානු ඇත. කුඩා දරුවන්, මහලුවියේ පසුවන්නන් හා රෝගිව දුර්වලවූවන්, ආරක්ෂිතතාවය පළුදු වූ ආහාර පරිභෝජනය නිසා වඩාත් පහසුවෙන්ම රෝගි වේ. ආරක්ෂිතතාවය පළුදු වූ ආහාර නිසා ලෝක ජනගහනයෙන් මිලියන 600ක් පමණ වසරකට රෝගි වේ. ඔවුන් අතරින් 420,000ට ජීවිත අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ. මෙම වාර්තාගත සිද්ධීන්ට අමතරව තව කොතෙකුත් ආහාර මුල් කොට ගත් ආබාධ හා ජිවිත අහිමිවීම් සිදු වනු ඇත. මෙලෙස ජීවිත අහිමි වන්නන්ගෙන් සියයට තිහක් වයස 5ට අඩු දරුවන් වීම අවාසනාවකි. මෙම තත්ත්වයෙන් මිදීමේ වගකීම සමාජයේ සෑම දෙනා අතරම ඒකාකාරව බෙදී පවතී.

නීති හා රෙගුලාසි

මෙම වගකීමෙහි කොටස් නොපැකිළව ක්‍රියාත්මක කිරීම සැමගේ යුතුකම වේ. රජයක් සැමවිටම ආහාර ආරක්ෂිතතාව රැකෙන නීති හා රෙගුලාසි බිහි කිරීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම්, මානව හා අනෙකුත් සම්පත් ක්‍රියාත්මකව ඒකරාශී කිරීමත් ඉටු කරනු ලබයි. පසුගිය දශකය තුළ ආහාර ආරක්ෂිතතාවය ඉලක්ක කොට ගත් නව ආහාර ආරක්ෂිතතා පනත් විවිධ රටවල නීතිගත විය. මේ අතර යුරෝපා හවුල (2002), චීනය (2008), ඉන්දියාව (2011), පාකිස්තානය, පන්ජාබය (2011), අමෙරිකාව (2012), කැනඩාව (2012), බංග්ලාදේශය (2015), ඔස්ට්‍රේලියාව (2017), හා ජපානය (2020) කැපී පෙනේ. ආරක්ෂිතතාවය අන්තර්ජාතික වෙළෙඳාමෙහි තීරණාත්මක සාධකයකි. මෙම අවශ්‍යතාවය ඉලක්ක කොට ගෙන ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොඩෙක්ස්’ නමින් හැඳින්වෙන ඒකාබද්ධ තාක්ෂණික අනුකමිටුවක් ක්‍රියාත්මක කර ඇත. මෙම කමිටුව ආහාර ආරක්ෂිතතාවය රැකගැනීම සඳහා අන්තර්ජාතිකව ක්‍රියාත්මක කළ යුතු රෙගුලාසි 200 කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

ප්‍රමුඛත්වය ගොවිතැනට

රටක ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛත්වය දරන්නේ ගොවිතැනය. මෙය එළවළු, පලතුරු, ධාන්‍ය, මාංසය, කිරි, මත්ස්‍ය ආදි නිෂ්පාදන කොටස් වශයෙන් වෙන් කළ හැකිය. මේ සෑම ආහාර නිෂ්පාදනයකටම යොදා ගන්නා පොහොර, ඒ සඳහා සුදුසු ජලය, නිර්දේශිත පළීබෝධනාශක හා නිර්දේශිත සත්ත්ව බෙහෙත් ඇත. ආහාර නිෂ්පාදනයේදී යොදන එක් එක් ද්‍රව්‍ය පිළීබඳ නීති හා උපදෙස්, ප්‍රමාණයන් මෙන්ම කාලසීමාවන් ලෙස ද විද්‍යාත්මකව ප්‍රකාශ කොට ඇත. එම තොරතුරු ගොවියන් වෙත ලබා දීම, අදාළ රාජ්‍ය ආයතන මඟින් ඉටු වේ.

ගොවිපොළෙහි නිපදවෙන නිෂ්පාදන අමුද්‍රව්‍ය එක්තරා ප්‍රමාණයක්, කාර්මික සැකසීම වෙත යොමු වේ. කාර්මික සැකසුම් ව්‍යාපාරයන්හිදී ක්‍රියාත්මක විය යුතු ආකාරය, එක් කිරීමට අවසර ඇති විවිධ ආකලන සීමාවන්, ගබඩා කළ යුතු ශීතාගාර තත්ත්වයන් ආහාර නීති යටතේ පැහැදිලි කොට ඇත. තවද යොදා ගත යුතු ඇසුරුම් වර්ග හා ලේබලවල සඳහන් විය යුතු කරුණු ආහාර නීති යටතේ පෙන්වා ඇත. මෙම නීති සකස් වී ඇත්තේ පාරිභෝගික ආහාර ආරක්ෂිතතාවය පෙරදැරි කොට ගෙනය. ජාතික හා අන්තර්ජාතික නීතීන්ට අනුකූලව ආහාර සැකසීමේදී, ගබඩා කිරීමේදී හා වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමේදී නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීම ආහාර නිෂ්පාදන දාමයේ සෑම දෙනාගේම වගකීම වේ.

ප්‍රවාහනය

මෙලෙස සැකසීමට භාජනය නොවන නැවුම් පලතුරු හා එළවළු ගොවිබිමෙහි සිට වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කෙරේ. ප්‍රවාහනයට උචිත ලෙස එළවළු හා අලවර්ගවල ඇති මුල් හා පස් සහිත කොටස් ඉවත් කිරීම වැදගත්ය. ප්‍රවාහනය සඳහා නිර්දේශිත ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි යොදා ගැනීමත් ආහාර ආරක්ෂිතතාවය සඳහා උපකාරි වේ. නෙළා ගත් පලතුරු හා එළවළු අස්වැන්න පොළොව සමඟ ගැටීමේදී, රෝගකාරක බැක්ටීරියාවන් ඒ මත තැන්පත් වේ. තේ දලු වේවැල් කූඩයකට නෙළාගැනීම හා නෙළාගත් දලු ප්ලාස්ටික් ඇතිරිල්ලක් මත තේරීම, පස් සමඟ අස්වැන්න තවදුරටත් ගැටීම වැළැක්වීමේ සාර්ථක ක්‍රමයකි. එමඟින් තේ නිෂ්පාදනයන්ට පොළොවෙහි සිටින රෝගකාරක ක්ෂුද්‍රජීවින්ගෙන් සිදු විය හැකි ආහාර ආරක්ෂිතතා උවදුරු සහමුලින්ම පාලනය කෙරේ. මෙය සෑම වගාවකදීම යොදා ගත හැකි ආහාර ආරක්ෂිතතාවය වෙත නැඹුරු වන ක්‍රමයකි.

රත් නොකොට හෝ අඩු රත්කිරීමකින් පසුව අනුභව කරන සලාද කොළ, පලා වර්ග, තක්කාලි, රට ලූනු, කැරට් වැනි ආහාර මත පහසුවෙන් වැඩෙන බැක්ටීරියා මඟින් පාරිභෝගිකයන් රෝගි තත්ත්වයන්ට භාජනය වේ. මෙවැනි ආහාරමය අමුද්‍රව්‍ය සේදීමේදී අපිරිසුදු ජලය යොදා ගැනීමත්, ටැංකියක ජලය ඉවත් නොකොට නැවත නැවත ගොවි නිෂ්පාදන සේදීමත් මඟින්, රෝගකාරක බැක්ටීරියා ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වීම සිදු වේ.

මූලික ශක්ති ප්‍රභවය

මානව සංහතියේ පැවැත්ම රැඳී ඇත්තේ ආහාරමය මූලික ශක්ති ප්‍රභවය වන ධාන්‍ය අනුභවය මතය. ධාන්‍ය මෙන්ම රටකජු හා බඩඉරිඟු වැනි ඇට වර්ග ද, අස්වනු නෙළී ගැනීමෙන් පසුව මාස කිහිපයක් අව්වේ වියළා කල් තබා ගනු ලැබේ. ගබඩාකරණයට පෙර ධාන්‍ය හා ඇටවර්ග තුළ තෙතමනය 7% දක්වා අඩු වන තෙක් වියළා ගත යුතුය. තෙතමනය පාලනයෙන් තොර ගබඩාකරණයේදී, ධාන්‍ය හා ඇටවර්ග මත පුස් වර්ග වැඩේ. පුස් මඟින් නිපදවෙන විෂ, ආහාර ආරක්ෂිතතාවට ප්‍රබල තර්ජනයකි. විෂ වර්ග විටෙක දරුණු පිළිකාකාරක ලෙස මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වේ. ආහාරයක මතුපිට වැඩී ඇති පුස් පිසදා ඉවත් කිරීමෙන් හෝ, ජලයෙන් සේදීමෙන් පලක් නැත.

වෙළෙඳාමක් ලෙස උත්සව සඳහා ආහාර පැකට් පිළියෙල කිරීමේදී වැඩි ප්‍රමාණයකින් ආහාර පිස, පැය 3 කට අධික කාලයක් තබා ගැනීම නිසා බැක්ටීරියා ගහනය රෝගකාරි මට්ටම් දක්වා වර්ධනය වේ. එමඟින් සිදු වන රෝග් තත්ත්වයන් පුවත්පත් මඟින් නිතර වාර්තා වේ. බොහෝ විට මෙවැනි සිද්ධීන් ප්‍රිය සම්භාෂණ උත්සව, පාසල් සිසුන් සඳහා සැකසෙන කෑම හා නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව පදික වේදිකාවේ විකිණෙන බත් පැකට් හරහා වාර්තා වේ. ආහාර ආරක්ෂිතතා උවදුරුවලට මෙලෙස මඟ සැලසෙන ක්‍රම කිහිපයකි. පළමුවැන්න, වැඩි පරිමාණ ආහාර සැකසීමේදී, පිසීමේ හා රත්වීමේ කාලය කෙටි වීම මඟින් ආහාරමය අමුද්‍රව්‍යයන්හි පවතින බැක්ටීරියා සම්පුර්ණයෙන්ම විනාශ නොවීමය. දෙවැන්න, පිසූ ආහාර කල් තබා ගැනීම නිසා බැක්ටීරියා මඟින් විෂ වර්ග ආහාර තුළ තැන්පත් වීමය. අත් හෝ අපිරිසුදු භාණ්ඩ හා ගැටීම මෙන්ම, අපිරිසුදු ජලයෙන් භාජන සේදීම නිසා බැක්ටීරියාවන් පිසූ ආහාර මතට එක්වීම තෙවැන්නය. පිසූ ආහාරයන්ට එක්වන බැක්ටීරියා ඉතා ශීඝ්‍රයෙන් උවදුරුකාරක මට්ටම් දක්වා වැඩේ.

නවීන තාක්ෂණ ක්‍රම

ආහාර පිළියෙල කිරීමේ නවීන තාක්ෂණ ක්‍රම වෙත නැඹුරු වීමත් සමඟම පිසීමෙන් පසුව පැය කිහිපයක් කල් තබා ගත් ආහාර, ක්ෂුද්‍ර තරංග (මයික්‍රෝ වේව්) උදුන් හරහා රත් කිරීම පුරුද්දක් විය. ක්ෂුද්‍ර තරංග රත් කිරීම මඟින් ක්ෂුද්‍රජීවීහු සැණින් විනාශ වෙති. එහෙත් එම ජීවින් මඟින් ආහාර මත මුදා හරින ලද සමහර විෂ වර්ග විනාශ නොවේ. අධික බැක්ටීරියා ගහණයන් ආහාර මත ක්‍රියාත්මක වූ අවස්ථාවන්හිදී, ක්ෂුද්‍ර තරංග උදුන් භාවිතය පවා ආහාර ආරක්ෂිතතාව රැකදීමේ සාර්ථක ක්‍රමයක් නොවනු ඇත. පැය ගණනක් උණුසුම් පරිසර උෂ්ණත්වයේ තිබීම නිසා හෝ, සනීපාරක්ෂක නොවන ආහාර පිසීමේ ගති පැවතුම් නිසා අධික බැක්ටීරියා ගහන තත්ත්වයන් උදා වේ.

වෙළෙඳපොළ වෙත ඉදිරිපත් වන සෑම ආහාර පැකට්ටුවකම හෝ බහාලුමකම ලේබලයක් ඇත. ආහාරයේ අන්තර්ගත කොටස්, ආකලන සංයෝග, වර්ණක ආදිය පිළිබඳ ලැයිස්තුවක් එහි ඇත. එම ලැයිස්තුව පාරිභෝගිකයා වෙත සහතික වන්නේ, අනවසර හෝ අනාරක්ෂිත කොටස් ආහාරයේ අන්තර්ගත වී නොමැති බව හා ආහාරය නීතියට අනුකුල බවය. එමෙන්ම ආසාත්මික කොටස් වැනි සමහරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අනුව නොගැළපෙන ද්‍රව්‍යයන්, ආහාරයක ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් විය යුතු බවය. ආහාර පිසීමේ ස්ථානය, පිසීමෙහි යෙදෙන්නන්ගේ පිරිසුදුබව හා ඔවුන්ගේ ගති පැවතුම් පිළිබඳ නීති ඇත. එම නීති පිළිපදින්නේ දැයි සොයා බැලීමට හා, නිසි නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය නිලධාරීන් පත් කොට ඇත.

ආහාර ආරක්ෂිතතා කළමනාකරණය, පාරිභෝගික සෞඛ්‍යය වෙත නැඹුරු වූ ක්‍රම සමුදායකි. පාරිභෝගිකයා එහි වැදගත් පුරුකකි. ආහාර නිපැයුම්-සැකසුම්-වෙ‍ෙළඳ දාමයේ අවසාන වාසිදායකයා පාරිභෝගිකයාය. වාසිදායකයෙක් ලෙස දැනුවත්ව ක්‍රියා කිරීම මඟින්, ඔහුට තම වාසියෙහි උපරිමය සමාජය වෙත ලබා දීමට කටයුතු කළ හැකිය. අන්තර්ජාතික ආහාර ආරක්ෂිතතා දිනයක ජාතික වැදගත්කම වන්නේ මෙම එකමුතුව වටහා ගැනීම හා එමඟින් පාරිභෝගික ජීවිතය වඩාත් සුවපත් කිරීමය. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස මෙම අන්තර්ජාතික ක්‍රියාවලියෙහි සහභාගිකරුවෝ වෙමු.

(Courtesy of dinamina.lk)

Leave a reply: