20 සම්මත වුවත් බැසිල් මැති සබයට නොඑයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතර බලයකින් සම්මත වුවද පොහොට්ටුව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්වීමේ අපේක්ෂාවක් නොමැති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි .නව ව්‍යවස්ථා සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව ට පත් කිරීමට අවකාශ සැලසුනද තමන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත .

තමා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට මේ තරම් මහන්සි වුණේ පසුගිය රජය ගෙන ආ 19 වැනි සංශෝධනය ස්වකීය පාක්ෂිකයින් හා පවුලේ අය මර්දනය ට උපයෝගී කර ගත් නිසා බව බැසිල් රාජපක්ෂ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමඟ ප්‍රකාශ කර තිබුණි .

ජයන්ත කැටගොඩ සහ සාගර කාරියවසම් යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ට පැමිණෙන්නේ නම් ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පරිත්‍යාග කරන බව ප්‍රකාශ කර ඇතත් බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත .ඔහු රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කරන ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන බලකාය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ට හා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ට සහාය දීම පිණිස දිගටම ක්‍රියා කරනු ඇති බව වාර්තා වෙයි .

20 වැනි සංශෝධනය පිළිබඳ විවාදයේදී විපක්ෂය දැඩිව චෝදනා කළේ මෙම සංශෝධනය හදිසියේම ගෙන එන්නෙ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව ට කැඳවීමට බවයි.බැසිල් ගේ තීරණයත් සමඟ විපක්ෂයේ චෝදනා ව්‍යර්ථ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පවසයි .

Leave a reply: